ප්‍රාදේශීය කාර්යාල පිහිටුවීම
මුදල් නීති පනතේ 7 වැනි වගන්තියට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මාතර, අනුරාධපුරය, මාතලේ, ත්‍රිකුණාමලය, කිලිනොච්චිය සහ නුවරඑළිය යන ප්‍රදේශ වල ප්‍රාදේශීය කාර්යාල හයක් ක්‍රියාත්මක කරනු ලබයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රථම ප්‍රාදේශීය කාර්යාලය ලෙස 1981 මාර්තු මාසයේදී මාතර ප්‍රාදේශීය කාර්යාලය ආරම්භ කරන ලද අතර, අනතුරුව, අනුරාධපුරය, මාතලේ, ත්‍රිකුණාමලය, කිලිනොච්චිය හා නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාල පිළිවෙලින් 1982, 1985, 2010, 2015 සහ 2016 දී ආරම්භ කරන ලදී.
ප්‍රාදේශීය කාර්යාල වල කාර්යයන් පහත පරිදි වේ.
- ප්‍රාදේශීය මට්ටමින් ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කිරීම
- බැංකු පද්ධතිය හරහා මූල්‍ය ප්‍රවේශය ලබාදීම සහ අනෙකුත් අදාල සේවාවන් සම්බන්ධීකරණය කිරීම මඟින් ප්‍රාදේශීය ආර්ථීකය දිරිමත් කිරීම සහ ප්‍රවර්ධනය කිරීම.
ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීම යටතේ ප්‍රාදේශීය කාර්යාල ප්‍රධාන වශයෙන් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් කෙරෙහි අවධානය යොමු කරයි. එමෙන්ම, ණය කඳවුරු සහ බැංකු සායන තුලින් මූල්‍ය ප්‍රවේශය වැඩිකිරීම සඳහා මෙම ප්‍රාදේශීය කාර්යාල මහජනතාවට සහය වන අතර ණය සම්බන්ධතා ඇති කිරීම සහ ණය හා සම්බන්ධ අනෙකුත් සේවාවන් සැපයීම මූලික වශයෙන් පහත සඳහන් ක්ෂේත්‍ර යටතේ සිදුකරනු ලබයි.
- ධාරිතා ගොඩනැංවීමේ සහ නිපුණතා සංවර්ධන වැඩසටහන්
- තාක්ෂණ හුවමාරු වැඩසටහන්
- වෙළඳපොල සබඳතා
මේ සම්බන්ධයෙන් ණය කඳවුරු, බැංකු සායන සහ ණය සම්බන්ධතා හරහා මූල්‍ය ආධාර සපයන අතර අනෙකුත් අතිරේක සේවා, පුහුණු වැඩසටහන් සහ දැනුවත් කිරීම් ද ඊට සමගාමීව සිදු කෙරේ.
- පහත දක්වා ඇති පරිදි ප්‍රාදේශීය මට්ටමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යයන් ක්‍රියාත්මක කිරීමට සහ සම්බන්ධීකරණය කිරීමට සහය වීම.
- සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධ කටයුතු
- ශ්‍රී ලංකා මහ බැංකුවේ විවිධ ආර්ථීක කටයුතු සහ අනෙකුත් ආශ්රිත සමීක්ෂණ ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය දත්ත රැස් කිරීම.
- මහ බැංකුවේ සේවා සහ කාර්යයන්, විධිමත් බැංකුකරණය, බලයලත්/බලපත්‍රලාභී මූල්‍ය ආයතන මගින්මහ බැංකුවේ කාර්යයන් සහ සේවාවන්, විධිමත් බැංකුකරණය, බලපත්‍රලාභී මූල්‍ය ආයතන මඟින් සපයනු ලබන මූල්‍ය සේවාවන් සහ එම ආයතන මඟින් ක්‍රියාත්මක කරනු ලබන ණය යෝජනා ක්‍රම, ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනාගැනීම පිළිබඳව ප්‍රාදේශිය මට්ටමින් නීතිය ක්‍රියාත්මක කරන ආයතන ඇතුළු සාමාන්‍ය ජනතාව, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන දැනුම්වත් කිරීමේ වැඩසටහන්, සම්මන්ත්රණ, වැඩමුළු පැවැත්වීම.
- මහ බැංකු ප්‍රකාශන, සමරු කාසි සහ නෝට්ටු ප්‍රාදේශීය මට්ටමින් අලෙවි කිරිම.
- ප්‍රාදේශීය මට්ටමින් මූල්‍ය සාක්ෂරතාවය නැංවීම සඳහා කටයුතු කිරීම හා පාර්ශවකරුවන් සම්බන්ධීකරණය කරමින් මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපාය මාර්ගය යටතේ පිහිටුවා ඇති අරමුණු සාක්ෂාත් කර ගැනීමට සහය දැක්වීම.