ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයෙකුටම සහ ව්‍යවසායකයෙකුටම වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි, ඵලදායී, කාර්යක්ෂම සහ දැරිය හැකි මිලකට මූල්‍ය සේවාවන් ලබාගැනීම සඳහා පහසුකම් සැලසීම තුළින් රටේ මූල්‍ය අන්තර්ගතභාවය වැඩිදියුණු කිරීමේ අරමුණ ඇතිව, ශ්‍රී ලංකා මහ බැංකුව 2021, මාර්තු මාසයේදී ප්‍රථම වරට ශ්‍රී ලංකාව සඳහා වන මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපාය මාර්ගය ඉදිරිපත් කරන ලදී. මෙම ජාතික උපාය මාර්ගය, ප්‍රධාන පාර්ශවකරුවන් 20ක ප්‍රමාණයක සහය ඇතිව ක්‍රියාත්මක වෙමින් පවතී.

මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපාය මාර්ගය ක්‍රියාත්මක කිරීම, නිරීක්ෂණය ඇගයීම සහ අධීක්ෂණය සඳහා මනා පාලන ව්‍යූහයක් (Governance Structure) ස්ථාපිත කර ඇති අතර, එහි ලේකම් කාර්යාලය (NFIS Secretariat) ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවෙහි ස්ථාපිත කර තිබේ. මෙම ලේකම් කාර්යාලය මගින් මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපාය මාර්ගයෙහි ක්‍රියාකාරී සැලැස්ම (Action Plan) ක්‍රියාත්මක කිරීමට දායකවන විවිධ පාර්ශ්ව ආයතන (Implementing Entities ) සම්බන්ධීකරණය කිරීම, විවිධ ස්ථරයන් හි පවතින වගකීම් ඉටු කිරීම සඳහා පාලන ආයතනයන්ට (Governance Bodies) සහය වීම, ක්‍රියාකාරී සැලැස්මේ සමස්ථ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම, ඇගයිම සහ වාර්තා කිරීම ඇතුළු කාර්යයන් රැසක් සිදු කෙරේ.

මෙම ජාතික උපාය මාර්ගයෙහි අරමුණු නියමිත කාල වකවානු තුළ සාක්ෂාත් කරගැනීම සඳහා එහි ක්‍රියාකාරි සැලස්ම සකස් කර ඇති අතර සියලුම පාර්ශව/ ආයතනයන් සඳහා අදාළ පුළුල් හා කාලානුබද්ධ කාර්යයන් 80ක් මෙම ක්‍රියාකාරි සැලස්ම තුළ දක්වා ඇත.

මෙම ජාතික උපායමාර්ගික සැළැස්ම, (i) ඩිජිටල් මූල්‍යකරණ සහ ගෙවීම්, (ii) ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායි මූල්‍යකරණ, (iii) පාරිභෝගික ආරක්ෂණය සහ (iv) මූල්‍ය සාක්ෂරතාවය සහ ධාරිතා ඉහල නැංවීම යන මූලික කුළුණු (පැතිකඩ) (Pillars) 4ක් යටතේ පිළියෙල කර ඇත. මෙම කුළුණු 4 (i) දත්ත, (ii) යටිතල පහසුකම් සහ (iii) ප්‍රතිපත්ති මෙවලම් සහ නියාමන පරිසරය බලගැන්වීම යන සක්‍රීයක (Enablers) 3 ක් පුරා පුළුල්ව පැතිරෙමින් මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපාය මාර්ගයෙහි අරමුණු ඉටු කර ගැනීමට සහය දක්වයි.

Strategy Framework of NFIS

Governance Structure of NFIS

ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතා ආයතනය

“IFC – DFAT Women in work” වැඩසටහන යටතේ ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතා ආයතනයේ (IFC) තාක්ෂණික සහ මූල්‍ය සහය ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුලිකත්වයෙන් මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපාය මාර්ගය හදුන්වා දෙන ලදී.

ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාවය, 2018 වසරේ සිට මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපාය මාර්ගයෙහි හවුල්කරුවෙක් වන අතර, 2018 වසරේදී ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාවයෙහි සහය ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය අන්තර්ගතභාවයේ පවත්නා මට්ටම අවබෝධ කරගැනීම සඳහා ජාතික මට්ටමේ සමීක්ෂණයක් සිදුකරනු ලැබූ අතර එහි ප්‍රතිඵල මෙම ජාතික උපාය මාර්ගය සැකසීමේ පදනම ලෙස යොදාගන්නා ලදී.

ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාවය (IFC) පිළිබඳව

ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතා ආයතනය, ලෝක බැංකු සමූහයේ සාමාජිකයෙකු වන අතර, එය නැගී එන වෙළඳපොල ආර්ථිකයන් හි පෞද්ගලික අංශය කෙරෙහි තම අවධානය යොමු කළ විශාලතම ගෝලීය සංවර්ධන ආයතනයයි. සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳපොල සහ එහි අවස්ථාවන් නිර්මාණය කිරීම සඳහා තම ප්‍රාග්ධනය, විශේෂඥ දැනුම භාවිත කරමින් සහ අනුබල දෙමින් ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතා ආයතනය රටවල් සියයකට අධික සංඛ්‍යාවක් වෙත සිය සේවාවන් සපයනු ලබයි. 2022 මූල්‍ය වර්ෂයේ දී ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතා ආයතනය විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල පෞද්ගලික සමාගම් සහ මුල්‍ය ආයතන වෙත වාර්තාගත ලෙස ඩොලර් මිලියන 32.8ක මූල්‍යමය අනුග්‍රහයක් දක්වන ලද අතර ගෝලීය අර්බුද වල බලපෑම සමඟ ආර්ථිකයන් එයින් මිදීමට වෙරදරණ අවස්ථාවන් හිදී පෞද්ගලික අංශය බලාත්මක කිරීම තුලින් අන්ත දරිද්‍රතාවය අවසන් කිරීමට සහ සෞභාග්‍ය උදා කර ගැනීමට සහය ලබා දෙනු ලබයි. වැඩි විස්තර සඳහා www.ifc.org. වෙත පිවිසෙන්න.

ඉදිරියට එන සිදුවීම්
 
මීළග ප්‍රාදේශීය සමුළුව 2024 ජූනි මස 24 දින මඩකලපුවේදී.

ශ්‍රී ලංකා මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුව යනු ශ්‍රී ලංකාවේ මූලය අංශයේ ප්‍රමුඛතම ආයතනයයි. එය 1949 අංක 58 දරණ මුදල් නීති පනත (MLA) යටතේ 1950 දී අර්ධ ස්වයං පාලන ආයතනයක් ලෙස ස්ථාපිත කරන ලද අතර, එය පාලනය කරනු ලබන්නේ මුදල් මණ්ඩලය විසිනි.
  •  
  •  
  •  

අපව අමතන්න

 
ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව
P O Box 590
කොළඹ 01
ශ්‍රී ලංකාව.